2018 අගෝ 19 වන ඉරිදා ලංකාදීප ‎තක්සලාව,  

කැලණි ගංවතුර පාලනයට විසඳුමක්

කැලණි ගඟ බෙහෙවින් ඛාදනයට ලක්ව ඉවුරු පළල් වී ගඟ වෙනත් මගක හැරී යාමට ඉඩකඩ සහිත ස්ථානයක්

අගනගරය ඇතුළු ප්‍රධාන නගර ඔස්සේ ගමන් කරනා ප්‍රධාන ගංගාවක් යනු බොහෝ රටවල සංචාරක ආකර්ෂණය දිනාගත්, ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන සම්පතකි. චීනය ඇතුළු ඇතැම් රටවල ප්‍රධාන නගරවල පවතින අවම ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා ගංගා යටින් දිවෙන උමං මාර්ග ද පවතී. ගංගා ආශ්‍රිතව කුඩා වන රොදවල් නිර්මාණය කරමින් නගරයේ වායු දූෂණය අවම කිරීමට කටයුතු කර ඇත. එහෙත් ලංකාවේ අපට තිබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමකි. ප්‍රධාන නගරයක් ඔස්සේ ගලා බසිනා ගඟක් අපට අඳෝනාවක් මිස වාසනාවක් වී නැත.

අපේ අගනගරය ඔස්සේ ගලා බසිනා කැලණි ගඟ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේම ජනතාවගේ විලාපය බවට පත්ව තිබේ. ඒ වැසි සමයේ දී ගංගාව පිටාර ගැලීම නිසා දෙපස නිවාස, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ වෙනත් ගොඩනැගිලි, භෝග වගාවන් ඇතුළු සියල්ල යට කරගෙන යමින් මහත් විනාශයක් සිදුකරනු ලැබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි වාර්ෂිකව ගංවතුරෙන් සිදුවන හානි ප්‍රතිපූරණයට මිලියන 380ක් 400ක් පමණ වැය කරන්නට සිදුවේ. එනිසා අදටත් කැලණි ගඟ රටේ ආර්ථිකය ආපස්සට අදින්නක් පමණි. මේ සම්පත හරිහැටි කළමනාකරණය කර සිතු පැතු සම්පත් දෙන සුරබිදෙනක් බවට පත්කිරීමට අපට නොහැකිද?

අපට එය කළ හැකි බව අද වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා අාපදාකළමනාකරණ අමාත්‍යංශය සහතික කරමින් කියා සිටී. ඒ ඔවුන් සතුව එයට සැලැස්මක් පවතින බැවිනි. ගඟක් රටකට සම්පතක් වනවාද විපතක් වනවාද යන්න තීරණය වන්නේ ඒ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති, දේශපාලනඥයන්ගේ දැක්ම, වුවමනාව හා නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්ව අනුවය. බොහෝ නිලධාරීන් සතුව සැලසුම් තිබේ. එහෙත් ඔවුන් දිරිමත් කරමින් එයට අනුමැතිය ලබාදිය යුතු දේශපාලන අධිකාරිය සලකා බලන්නේ මේ ව්‍යාපෘතියෙන් තමන්ට අත්පත් වන දේශපාලන වාසිය කුමක් ද යන්නය.

එය ජනතාවට පෙනෙන වැඩක් ද යන්නය. තමන්ගේ පාලන කාලය තුළ අවසන් කළ හැකි ව්‍යාපෘතියක් ද යන්නය. එසේම ඇතැම් දේශපාලනඥයින් මෙයින් තමන්ට ලැබෙන ආර්ථික වාසි ද සලකා බලන අවස්ථා තිබේ. ඒනිසා නිලධාරීන් ගෙන එන රටට වැඩදායී බොහෝ යෝජනා කුණු බක්කියට හෝ හමස් පෙට්ටියට යැවුණා මිස ක්‍රියාවට නැඟුණේ නැත. එහෙත් පසුගිය ආණ්ඩුවේ අවසන් කාල පරිච්ඡේදයේ දී එනම් 2014 අගභාගයේ දී වැදගත් තීන්දුවක් ගනු ලැබිණ. ඒ “දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය” නමින් වාරිමාර්ග අමාත්‍යංශය යටතේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගත් තීරණයයි.

 එහි අධ්‍යක්ෂ ධුරයට පත් කෙරුණේ ඉංජිනේරු සුධර්ම ඇලකන්ද මහතා ය. මේ ව්‍යාපෘතිය යටතේ ගංවතුරෙන් වැඩිම හානි සිදුකරන ගංගා දහයක් සම්බන්ධයෙන් අධ්‍යයනය කර හානි අවම කිරීමේ ව්‍යාපෘති සකස් කිරීමට නියමිත විය. මල්වතු ඔය, කලා ඔය, මහවැලිය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලු ඔය, ගිං ගඟ, නිල්වලා ගඟ, ගල්ඔය හා කැලණි ගඟ ඒ ගංගා දහයට අයත් ය. ආණ්ඩු මාරුවුණ ද ව්‍යාපෘතිය ඉදිරියට ගමන් කළ අතර 2016 දී සිදුවූ දැවැන්ත ගංවතුර තර්ජනය හමුවේ කැලණි ගඟ සම්බන්ධ වැඩසටහන මූලිකව ක්‍රියාත්මක කරන ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට ජනාධිපතිවරයාගෙන් නියෝග ලැබී තිබේ. ඒ අනුව කැලණි ගඟ සම්බන්ධ අධ්‍යයන කටයුතු වේගවත් කෙරිණ. එයට ලෝක බැංකු ආධාර ද ලැබිණ.

කැලණි ගඟ දෙගොඩතලා ගලා යාමෙන් පසුගිය වසරවල ස්වාභාවික පරිසර පද්ධතියට සිදුවූ හානි ප්‍රතිපූරණය කිරීමට හා අධ්‍යයන කටයුතු සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 152ක් ලබා දී ඇති අතර එම කටයුතු වසර පහකින් අවසන් කළ යුතුව තිබේ. ව්‍යාපෘති නියමුවන්ගේ ඉලක්කය වූයේ ගංවතුරෙන් සිදුවන හානිය දුරු කිරීම මෙන්ම ඒ වෙනුවෙන් සකසන ව්‍යාපෘතිය ක්‍රියාවට නැගීමේ දී අවම නැවත පදිංචි කිරීම් ප්‍රමාණයක් කිරීමට සිදුවන පරිදි මැනුම් කටයුතු කිරීමය.

මෙම අධ්‍යයනයේ දී යෝජනා කීපයක් ඉදිරිපත්ව ඇත. ඒ ජල ගැලීම් සහිත කාලයන් හිදී පූගොඩ ප්‍රදේශයෙන් ජලය කොටසක් වෙනත් මාර්ගයක් ඔස්සේ හරවා මුහුදට වැටෙන්නට සැලැස්වීමය. දෙවැනි යෝජනාව වූයේ යටත් විජිත සමයේ දී ඉදිකරන ලද වේලි හා ජල ගේට්ටු නවීකරණය කර ගංවතුර පාලනය කිරීමය. මේ දෙකම ප්‍රතික්ෂේප වු පසු ඉදිරිපත් වූ තෙවන යෝජනාව කවුරුත් පිළිගත් හා කාටත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව අද වන විට ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කර තිබේ. කැලණි ගඟ මුහුදට වැටෙන ඉසව්වේ සිට හංවැල්ල දක්වා ගං ඉවුරේ සිට අඩි පනහක් දුරින් ගංවතුර බාධක බැමි ඉදිකිරීම එම යෝජනාවය.
එහි අතුරු යෝජනා කීපයක් ද තිබේ. දැනට පවතින වේලි හා ඇළ මාර්ගවල පවතින ජල ගේට්ටු ප්‍රතිසංස්කරණය, හඳුනාගත් තවත් ඇළ මාර්ගවල නව ජල ගේට්ටු ඉදිකර ගඟේ ජලය වැඩිවූ විට ඇළ මාර්ග ඔස්සේ ගමන් කර ඒ දෙපස ජීවත්වන ජනතාවට හා දේපළවලට හානි සිදුවීම වළක්වා ගැනීම එම යෝජනාවන්ය. එසේම ගංවතුර බාධක ඉදිකිරීම නිසා වැසි කාලයන් හිදී ස්වාභාවිකව ගඟට ජලය එකතු වන මාර්ග ඇසිරීමෙන් එකතුවන ජලය ඒ ඒ ප්‍රදේශවල සකස් කළ ස්ථානයකට එකතු වන්නට ඉඩ සලසා එම ජලය මෝටර් මගින් ගඟට පොම්ප කිරීම සඳහා පොම්පාගාර ඉදිකිරීම තවත් යෝජනාවකි.

ගංවතුර බාධක ඉදිකිරීමට සැලසුම් කර ඇති ආකාරය

මෙම බාධක මීටර දෙකේ සිට උපරිම තුන දක්වා වූ උසකින් නිර්මාණය කෙරෙන අතර, ඒ ඒ ස්ථානවල දී ගඟේ ජල මට්ටම සමග භූමියේ පිහිටීම සලකා බලා බාධකයේ උස තීරණය වනු ඇත. මෙහිදී බාධකයෙන් ඇතුළත ගං ඉවුර දක්වා ප්‍රදේශය ඇවිදින මංතීරු, කෙනෙකුට ගස් සෙවණක අසුන්ගෙන ගඟේ සිරි නැරඹිය හැකි බංකු, ළමා උද්‍යාන මෙන්ම වැඩිහිටියන්ට, තරුණයන්ට, විදේශිකයන්ට නිදහසේ කාලය ගත කළ හැකි උද්‍යාන නිර්මාණය කරමින් පරිසර අලංකරණයක් ද ව්‍යාපෘතිය සමග එක් කිරීමට බලාපොරොත්තු වන බව ඉංජිනේරු සුධර්ම ඇලකන්ද මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය නිසා සංචාරක ආකර්ෂණය දිනාගැනීමට ද කැලණි ගඟ සමත් වනු ඇති අතර එමගින් රටේ ආර්ථිකය ද ශක්තිමත් වනු ඇතැයි ව්‍යාපෘති නියමුවන්ගේ අදහසයි.

ලෝකයේ බොහෝ රටවල මෙවැනි ගංවතුර බාධක විවිධාකාරයෙන් නිර්මාණය කර තිබේ. ඇතැම් බාධක ගංවතුර අවස්ථාවල දී යොදා අනෙකුත් අවස්ථාවල ඉවත් කර තැබිය හැකි පරිදි නිර්මාණය කර ඇත. තවත් රටක වීදුරු බාධක යොදා ඇත. මේ වීදුරු බාධක නිර්මාණය කරනු ලබන්නේ අඩි කීපයක් උසට ගලින් බඳින ලද තාප්පයක් මතය. ඒවා ද ගංවතුර අවස්ථාවල දී සවිකර අනෙක් අවස්ථාවල ඉවත් කළ හැකි පරිදි සකස් කළ හැකිය. තවත් තැනක ගංවතුර අවස්ථාවල දී පමණක් ඔසවනු ලබන ලෝහමය ගේට්ටු වැනි බාධක ද නිර්මාණය කර ඇත. එසේම ගංවතුර වැඩිවන ආකාරය අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බාධක ද ජනගහනය අඩු ප්‍රදේශවලට යෙදීම ද ඇතැම් රටවල සිදුකර ඇත.

ඕනෑම් ගංගාවක අඩි පනහකවත් රක්ෂිත ප්‍රදේශයක් පැවතිය යුතු නමුත් අපේ රටේ ගං ඉවුර කෙළවරටම ඇතැම් විට ඉවුරත් ගොඩකරගෙන ගංගාව ආක්‍රමණය කර ඉදිකිරීම් කර තිබෙන අයුරු දක්නට ලැබේ. මේ නිසා ගංවතුර අවස්ථාවල සිදුවන ජීවිත හා දේපළ විනාශය වැඩිය. එසේම පිටාර ජලය ගලායාමට තිබූ ඉඩකඩ ඉදිකිරීම් නිසා ඇහිරී යාම නිසාත් මේ වන විට ගංවතුරෙන් සිදුවන හානිය අතිමහත්ය. දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන බාධක යෙදීම් නිසා ගංගා රක්ෂිතය සුරක්ෂිත වීම ද අමතර වාසියක් ලෙස එකතුවේ. එසේම කැලණි ගඟ දෙපස මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුව ඇති හානියේ එක් ප්‍රතිඵලයක් ලෙස ගඟ මල්වානේදි හා බියගමදී ස්ථාන දෙකකින් වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීමේ අවදානමක් ගැන ද අපි මීට පෙර සාකච්ඡා කළ අතර මෙම ව්‍යාපෘතිය ඒ ප්‍රශ්නයට ද පිළියමක් වනු ඇත. මෙම බාධක ජනාකීර්ණ ප්‍රදේශවල ගළින් බඳින ලද තාප්ප ලෙස සකස් කෙරෙන අතර ජනගහනය අඩු ස්ථානවල වැව් බැම්මක් නැත්නම් වේල්ලක් ආකාරයට නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව ද ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු ඇළකන්ද මහතා පැවසීය.

ලංකාවේ ප්‍රධාන ගංගා දහසය අතරට වැටෙන කැලණි ගඟ කිලෝමීටර් 145ක පමණ දිගින් යුත් දෙවැනියට වැඩිම ජල ධාරිතාවක් සහිත ගංගාව වේ. කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔය මෙහි ආරම්භක ජල දහරා දෙක වන අතර එයට ප්‍රධාන වශයෙන් කිතුල්ගල දී මල්වතු ඔය ද යටියන්තොට දී වී ඔය ද රුවන්වැල්ලේ දී ගුරුගොඩ ඔය ද අවිස්සාවේල්ලේ දී සීතාවක ගඟ ද එකතු වේ. කැලණි ගඟ කරවනැල්ල දක්වා කඳුකර පරිසරයක් ඔස්සේ ගලාබසිනා නිසා එහි වේගවත් බව වැඩිය. එහෙත් හංවැල්ලෙන් පසු එළැඹෙන්නේ ගඟේ මහලු අවධියයි. ඒ නිසා ගඟේ ජලය බැස යන්නේ ඉතාමත් සෙමිනි. මේ නිසා වැසි කාලයන් හිදී ඉහළ සිට වේගයෙන් ගලා එන ජලය අවිස්සාවේල්ල හංවැල්ල ප්‍රදේශයන් වෙත පැමිණ තැන්පත් වීම නිසා ගංවතුර තත්ත්වයක් නිර්මාණය වීමේ ඉඩකඩ වැඩිය. මේ ප්‍රදේශවල දී ගංවතුර බැසයාම ද සිදුවනු ඇත්තේ ඉතා සෙමිනි. මෙවැනි බාධකයක් හංවැල්ලේ සිට යෙදීමට තීරණය කිරීමට එම තත්ත්වය ද බලපාන්නට ඇත.

මෙම ව්‍යාපෘතියේ දෙවැනි පියවරක් ලෙස කැලණි ගඟට විශාල ජල කඳක් එකතු කරන රූකාෂල් හා වී ඔය ආශ්‍රිතව ජලාශ ඉදිකිරීමේ අදහසක් ද දැනට යෝජනා මට්ටමේ පවතින බවත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදුකරන බවත් ඇළකන්ද මහතා පැවසීය.

නැවත පදිංචි කිරීම් පිළිබඳ සැලසුම කොළඹ විශ්වවිද්‍යාලය විසින් සිදුකරන අතර මෙම ව්‍යාපෘතිය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට අදාළ මැනුම් කටයුතු සිදුකර අවසන් කර ඇති අතර බාධක ගමන් ගන්නා මාර්ගය ද සැලසුම් කර අවසන්ව තිබේ. එහි ඉංජිනේරු සැලැස්ම, පරිසර ඇගයීම් වාර්තාව සකස් කරමින් පවතී. මෙය අවසන් කිරීමට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 300ක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ද ඇළකන්ද මහතා පැවසීය.

මෙවැනි ව්‍යාපෘතියක් ලෝක බැංකු ආධාර මත නිර්මාණය කළ හැකිය. එහෙත් ඒවා නඩත්තු කරගෙන යාමට ඉංජිනේරුවරුන්, තාක්ෂණික ශිල්පීන්, සාමාන්‍ය කම්කරුවන්, ආරක්ෂකයන් ඇතුළු දැවැන්ත කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වේ. එහෙත් වාරිමාර්ග අමාත්‍යාංශය සතුව එවැනි කාර්ය මණ්ඩලයකට අවශ්‍ය සම්පත් නැත්නම් අලුතෙන් බඳවා ගැනීම් සඳහා සූදානම්ද? එසේම එවැනි පිරිසකට වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් වෙන්කිරීමට ආණ්ඩුව සුදානම් ද?

 

වෙනත් රටවල ඉදිකර ඇති ගංවතුර බාධක කීපයක්

කුමන ආණ්ඩුවක් යටතේ ඉදිවුවද බලයට පත් වන කුමන ආණ්ඩුවක් යටතේ වුවද ව්‍යාපෘති නියමුවන් බලපොරොත්තු වන පරිදි මෙහි නඩත්තුවට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සැපයීමට කටයුතු කරන්නේ නම් එය රටේ ජනතාවගේ වාසනාවකි. එසේ නොවන්නට විනාශ වන්නේ මේ සා විශාල ව්‍යාපෘතියක් වෙනුවෙන් යට කළ ජනතා මුදල්ය. ගංවතුරෙන් වාර්ෂිකව විනාශ වන්නේ ද ජනතා දේපළය. රටට අහිමි වන්නේ වටිනා මිනිස් ජීවිතය. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට රජය යළි වැය කරන්නේ ද ජනතාවගේ බදු මුදල්මය. මේ සම්බන්ධයෙන් ද අප දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ඉංජිනේරු සුධර්ම ඇලකන්ද මහතාගෙන් විමසුවෙමු.

මේක අපේ අමාත්‍යංශයේ පමණක් වැඩක් නෙවෙයි. මේකට තවත් අමාත්‍යංශ ගණනාවක සහය අවශ්‍ය වෙනවා. අපි දැනටමත් ඒ අමත්‍යංශවල විශේෂයෙන්ම මහ නගර සංවර්ධන අමාත්‍යංශය වැනි අමාත්‍යංශ කීපයක සහය ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේක ජනතාව දැනුම්වත් නොකර කරන්නත් බැහැ. ඒ නිසා අපි ගම්පහ සහ කොළඹ දිසාපතිවරුන් දෙදෙනා, ප්‍රාදේශීය ලේකම්වරු නව දෙනෙක්, හා එම ප්‍රදේශවලට අදාළ සියලු ග්‍රාම නිලධාරිවරුන් දැනුම්වත් කර තිබෙනවා.

එමගින් ජනතාව දැනුම්වත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතුවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න යාමේදී ජනතාවගෙන් දැඩි විරෝධතා ඇතිවේවි කියලයි. එහෙත් ඔවුන් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති තරම කෙතෙක්ද කියනවා නම් තමන්ගේ ඉඩ කඩම්වලින් කොටසක් දෙන්න වුණත් කමක් නැහැ මේ ව්‍යාපෘතිය ඉක්මනට කරන්න කියන තැනට පත්ව තිබෙනවා. ඒක හොඳ ලකුණක්.

 

ඉදිකරනු ලබන ගංවතුර බාධක නඩත්තුවට අවශ්‍ය මානව සම්පත් සොයාගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුය. ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ අණ පනත් සම්මත කරගනිමින් අවශ්‍ය නීතිරීති සම්පාදනය කරගත යුතුය. මානව සම්පත් වැඩිකර ගැනීමට අවශ්‍ය කටයුතු යෙදිය යුතුය. අප විශ්වාස කරනවා පසුගිය වසර තුනක් තිස්සේ මුහුණ දීමට සිදුවූ ගංවතුර අත්දැකීම් නිසා ආණ්ඩු පක්ෂ විපක්ෂ කාටත් මේ උවදුරෙන් බේරීමට මගක් අවශ්‍යව තිබෙන බව. ඒ නිසා ඒ සියලු දෙනා එක්ව මේක පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 

මුදිතා දයානන්ද   

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *